Tamil English (United Kingdom)
සුවසැරිය(Health Net)
ළමා අපයෝජනය

PDF Print Email
( 1 Vote )

ළමා අපයෝජනය යනු ළමයකුගේ කායික හෝ මානසික සෞඛ්‍යය කෙරෙහි හානිකර හෝ හානියක් වීමට මග සලසන හෝ ළමයාව වේදනාවට ලක් කරන ක්‍රියාවක් කිරීමය. ළමයාගේ යහපත උදෙසා යම් කෙනෙකු විසින් කළ යුතු යමක් පැහැර හැරීමද මීට අයත්ය.

ළමා අපයෝජනය බහුලව සිදුවනු දක්නට ලැබෙන්නේ ළමයාගේ නිවසේදීමය. ඊට අමතරව සුළු වශයෙන් ළමා නිවාස පාසැල් හා අවට සමාජය තුළ සිදුවනු දක්නට ලැබෙයි.

බොහෝවිට ළමා අපයෝජනය සිදුකරනු ලබන්නේ එම ළමයාගේම මව්පියන් හෝ ඔහුට සමීප ඥාතියකු හෝ වැඩිහිටියකු විසිනි. නාදුනන පුද්ගලයෙකු අතින් ළමා අපයෝජනය සිදු වීමට ඇති හැකියාව අල්පය. බීමත් පියවරු අතින් දරුවන් කායික අපයෝජනයට ලක්වන අතර පවුලක සිටින දරුවන් ගණන වැඩි වූ විටද ඔවුන් ගැන සොයා බැලීමට නොහැකි වීමද, අවශ්‍ය මූලික පහසුකම් (ආහාර පාන, බෙහෙත් පාසැල් අධ්‍යාපනය) ලබා දීමට නොහැකි වීමද, අපයෝජනයකි. ළමා ලිංගික අපයෝජනද, බහුලව සිදුවනු ලබන්නේ පවුලට සමීප වැඩිහිටියන් අතිනි. පසුකාලීනව සිරගතව දඩුවම් ලබන දරුණු පුද්ගලයන් බොහෝ විට ළමා කාලයේදී විවිධ අපයෝජනයන්ට ලක් වූවන්ය.

ළමා අපයෝජන වර්ග 4කි.

  1. නොසලකා හැරීම.
  2. කායික අපයෝජනය.
  3. මානසික / චිත්ත වේගාත්මක අපයෝජනය.
  4. ලිංගික අපයෝජනය.

01. නොසලකා හැරීම.

ළමයා සම්බන්ධව වගකිව යුතු තැනැත්තා (දෙමාපියන් හෝ භාරකරු) විසින් හරියාකාරයෙන් ළමයාගේ යහපත සදහා අවශ්‍ය කටයුතු සිදු නොකිරීමයි. මෙය විවිධාකාර වේ. අවශ්‍ය පරිදි ආහාර ඇදුම් බෙහෙත් සපයා නොදීම. (කායික නොසලකා හැරීමද) අවශ්‍ය රැකවරණය හා සෙනෙහස ලබා නොදීම (මානසික / චිත්ත වේගාත්මක) පාසැල් නොයැවීම ආදිය වේ.

02. කායික අපයෝජනය

වැඩිහිටියෙකු විසින් ළමයෙකු උදෙසා කරන කවර අන්දමක හෝ කායික ප්‍රචණ්ඩ / හිංසක ක්‍රියාවක් මෙයින් අදහස් කෙරේ. එය ගැසීම, පිච්චීම, සීරීම් තුවාල ඇති තිරීම, විෂ හෝ පුපුරණ ද්‍රව්‍ය ආශ්වාස කිරීමට හෝ ගිලීමට සැලැස්වීම ළමයෙකු තදින් සෙලවීම ආදිය වේ. ළමයෙකු තදින් සෙලවීම නිසා හිස් කබල තුල පීඩනය වැඩි වී මොළයේ ඉදිමීමක් ඇති වී ඒ තුල ඇති ස්නායු පටක හානි වීම නිසා ළමයාගේ වර්ධනය බාල වීම, වමනය වීම, අලස බව ඇති වීම, වලිප්පුව ඇති වීම, ශ්වසන වෙනස් වීම් හා කණිනිකාවේ වෙනස්වීම් ඇති විය හැක.

මව හරහා දරුවාට අහිතකර මත්පැන් හා ඖෂධ (ගර්භනී අවස්ථාවේදී හා මව්කිරි දෙන අවධියේදී) සංක්‍රමණය වීමද කායික අපයෝජනයකි.

විනයානුකූල ක්‍රියාවක් ලෙස කායික හිංසනය මගින් බලපෑම් කිරීම ලොව බොහෝ රටවල නීතියෙන් තහනම්ය.

03. මානසික / චිත්ත වේගාත්මක අපයෝජනය

මෙය හදුනා ගැනීම අපහසුය. ළමයෙකුට බැනීම, සමච්චලයට ලක් කිරීම, ළමයෙකුට අයත් ද්‍රව්‍ය විනාශ කිරීම, ළමයා කැමති දේ / අයට (සුරතල් සතුන්ට) හානි කිරීම, අධික ලෙස විවේචනය කිරීම, ළමයාගේ හැකියාවට වඩා බලාපොරොත්තු වීම, ළමයා සමග කතා නොකර සිටීම, සමච්චලයට නම් යොදා කතා කිරීම ආදිය වේ. මෙවැනි අපයෝජනයනට ගොදුරු වූ ළමයින් තමා ඇසුරු කරන්නන්ගෙන් වෙන්වී හුදකලාව සිටීමට ප්‍රිය කරයි. මානසික බිය හා පීඩනයට ලක් වේ. එදිනෙදා කටයුතු පාසැල් යාම ආදියෙන් වැළකීමට තැත් කරයි. මුරණ්ඩු ලෙස හැසිරීම, නොරිස්සීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. පසු කාලීනව සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමේ දුර්වලතා පෙන්නුම් කරයි.

04. ලිංගික අපයෝජනය

මෙහිදී වැඩිහිටියකු හෝ වැඩිමල් යෞවනයකු විසින් ලිංගික තෘප්තිය උදෙසා ළමයාව අපයෝජනය කෙරේ. මෙහිදී ළමයාට සුහදව කථා කර රවටා ගැනීමෙන් හෝ තර්ජනය කිරීමෙන් ළමයාව ලිංගික ක්‍රියාවලට යොමුකරවා ගැනීම, ළමයාට ලිංගේන්ද්‍රිය පෙන්වීම, අසභ්‍ය පොත්පත්, රූප හෝ අසභ්‍ය චිත්‍රපට පෙන්වීම, ළමයින් සමග ලිංගිකව හැසිරීම, ළමයාගේ ලිංගේන්ද්‍රය අතගෑම හෝ බලාසිටීම හෝ ළමයාව අසභ්‍ය දර්ශන චිත්‍රපට සදහා යොදා ගැනීම ආදිය සිදුවේ.

මෙවැනි අපයෝජනයන්ට ගොදුරුවන දරුවන් කායික හිංසනයට හා මානසික ආතතියට (විශාදය) ලක් වීම, ව්‍යසනයක් නිසා ඇතිවන ආතති තත්ත්වයට (Post traumatic stress disorder) ලක් වීම, පෞරුෂත්වය පිරිහීම හා වැඩිහිටියකු වූ පසුව කුඩා දරුවන්ට අතවර කිරීමට පෙළඹීම ආදී සමාජ අහිතකර තත්ත්වයන්ට පත්වේ. බොහෝ විට ලිංගික අතවර කරන්නන් ළමයාගේ පවුලේම කෙනෙ‍කු, දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාතීන් යහළුවන්, අසල්වැසියන් ආදීන් වේ. නොහදුනන පුද්ගලයකු අතින් අපයෝජනය සිදුවන අවස්ථා දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

අපයෝජනයට ලක්වන දරුවන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ

චිත්ත වේගාත්මක අපයෝජනය

  1. කිසිම දෙයක් සම්බන්ධයෙන් උනන්දුවක් නොපෙන්වීම.
  2. මානසික ආතතිය.
  3. එදිනෙදා කටයුතු පාසැල් යාම, ක්‍රීඩා කිරීම ආදියෙන් දුරස්ත වීම.
  4. ඉක්මණින් කේන්ති යාම හා කිසිවකු නිරිස්සීම.
  5. ආහාර රුචියක් නොපෙන්වීම හෝ අධිකව ආහාර අනුභවය.

නොසලකා හැරීම

  1. ඉහත ලක්ෂණ හෝ සෑමවිටම බඩගිනි ගතියක් සහිත වීම / ශරීරය සිහින් වීම.
  2. අරමුණින් තොරව ඇවිදීම.
  3. කිලිටි, අපිරිසිදු ඇදුම් ඇදීම.

කායික අපයෝජනය

  1. සීරීම් හා තැලීම් සලකුණු රේඛීය තැලීම් හෝ පිළිස්සීම් ලකුණු ආදිය (උදා: බද පටියකින් තැලූ විට)
  2. කොන්දේ පහළ කොටසේ, ඇස්, මුඛය, තට්ටම්, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශ, කලව ආදී ස්ථානවල තැලීම්, සීරීම් දක්නට ලැබීම.
  3. කුඩා පිළිස්සුම් සළකුණු (දුම්වැටි මගින් ඇති කරන)
  4. සැපීම් සලකුණු
  5. සැක සහිත ලෙස දිග අස්ථි කැඩී තිබීම.
  6. පිලිස්සුම් සළකුණු, ඉස්ත්‍රික්ක, හීටර (විදුලි තාපක) ආදී උපකරණවල හැඩය දක්නට ලැබීම.

ලිංගික අපයෝජනයට ලක් වූවන්

  1. සමාජයෙන් මුළු ගැන්වීම හා සමාජයට වෛර කිරීම.
  2. සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට බිය වීම.
  3. ලිංගික ක්‍රියාවන් කෙරෙහි අනිත් ළමයින් යොමු කරවා ගැනීමට තැත් කිරිම.

ළමා අපයෝජනයන්ට හේතු වන කරුණු

  1. දෙමව්පියන් අතර ඇති ප්‍රශ්න / ගැටුම්
  2. මත් කුඩු, මත්ද්‍රව්‍ය භාවිතය
  3. ආර්ථික ප්‍රශ්න

ළමා අපයෝජනය නිසා ඇති වන බලපෑම

  • ළමා අපයෝජනයට ලක්වන්නන් පසු කාලීනව විවිධ මානසික ආබාධයන්ට ගොදුරු වේ. ඔවුන්ගේ පෞරුෂ වර්ධනය හීනවන අතර, සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේදී දුර්වලතා පෙන්නුම් කරයි. බිය සුළු ගති හා සමාජ විරෝධී අදහස් ඇතිවේ. විශාදයට ගොදුරු වේ.
  • ඔවුන් පසුව ළමා අතවර කිරීමට යොමු වේ.
  • ඔවුන්ගේ දරුවන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමේදී දුර්වලතා පෙන්වයි.
  • සෘජු බලපෑම් - පිළිස්සීම් අස්ථි බිදීම් නිසා ඇති වන කායික අපහසුතා, ලිංගික අතවරවලින් පසු අඩු වයස් ගැහැණු දරුවන්ට පියවරු නැති දරුවන් බිහි වීම.

ළමා අපයෝජන අඩු කිරීමට කළ හැකි දේ,

  1. දෙමාපියන් විශ්ෂයෙන් මව දරුවන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම, එදිනෙදා පාසැලේදී, පන්තියේදී, සිදුවන වැදගත් දේ දරුවා සමග කතා කිරීම, එහිදී තමාට සිදුවන දේ දරුවා මව සමග කතා කිරීමට පෙළඹේ.
  2. ළමයාගේ වයස අනූව තේරුම් යන පරිදි ලිංගේන්ද්‍රිය පිළිබද සරල අවබෝධයක් ලබා දීම හා අනිත් පුද්ගලයන් තමන්ව ඇල්ලීම, අනවශ්‍ය ලෙස සමීප වීම ආදිය සිදුවුවහොත් ඉන් ඉවත් වීමට උපදෙස් දීම.
  3. ළමා අපයෝජනයෙහි යෙදෙන්නන්ට නීතිය මගින් දඩුවම් කිරීම.
Last update on : 2011-03-23 15:31:41





නිතර අසන ප්‍රශ්ණ

අප අමතන්න